කොත්මලේ පුරාණ කඩදොර විහාරය

 




සුන්දර කොත්මලේ ප්‍රදේශයෙන් අපට හමු වුණු අපි ගොඩක් දෙනෙක් නොදන්න සංචාරක ප්‍රදේශයක් වන කොත්මලේ පුරාණ කඩදොර විහාරය ගැන තමයි අද මගේ සටහන.

කොත්මලේ ප්‍රදේශය සම්බන්ධ ඉතිහාසය පිළිබඳව හැදෑරීමේදී කාවන්තිස්ස රජතුමාගේ කාලෙදිත් මේ ප්‍රදේශය කොත්මලේ නමින්ම හඳුන්වලා තියෙනවා.ජනප්‍රවාදයේ පැවත එන ආකාරයට හනුමා විසින් ගිනි තැබීම නිසා කොත්මලේ පස කළු පාට වී ඇති බවට මතයක් සහිතයි.

ඒ වගේම ගැමුණු කුමාරයා මාළිගාව අතහැර දමා ඇවිත් කොත්මලේ කොටගේපිටියේ සිටි බවද අපගේ පුරාණ  ඉතිහාසය සාක්ෂි දරයි.

කාලිංගමාඝ කාලයේ දන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍ර ධාතූන් වහන්සේ හංගලා තිබුණෙත් මෙම කොත්මලේ ප්‍රදේශයේ.

 පුරාණ කඩදොර විහාරය හෙවත් කඩදොර ශ්‍රී ප්‍රියබිම්භාරාම විහාරය යනු වියළි කාලයේ දී පමණක් සංචාරකයින් හට වැඳුම් පිදුම් කිරීමට, දැකබලා ගැනීමට හැකි ඉතාමත් අලංකාර විහාරයකි.මන්ද කොත්මලේ ජලාශයේ ජලය පිරුණු විට ඊට අඩු අඩි 20 පමණ පතුලෙන් කඩදොර විහාරය පිහිටා තිබීමයි.

මහවැලි ව්‍යාපාරය යටතේ ඉදි වුණු පළවෙනි ජලාශය ලෙස සැලකෙන කොත්මලේ ජලාශය නිර්මාණයේදී මෙන්ම එය ජලයෙන් පිරුණු විට මේ නිම්නය තුළ වූ විශාල භූමි ප්‍රමාණයන්, ගම්බිම් ද සමඟ ජලාශ පතුලේ සැඟව ගොස් ඇත.1979 වර්ෂයේදී කොත්මලේ වේල්ල ඉදිකිරීම සඳහා පන්සල් අතහැර දමන ලදී. ඒ මත ඒවා විනාශ මුඛයට පත් විය.1985 වර්ෂයේ දී ජලාශයේ වැඩ කටයුතු නිමා වීමත් සමඟ කොත්මලේ ගම් 57 සහ ආගමික ස්ථාන 54 පමණ ජලයෙන් යට වූ බව සඳහන් වේ.

කඩදොර විහාරයට අමතරව තිස්පනේ විහාරය ,මොරපේ දේවාලය ,ඔතලාව විහාරය, මේදගොඩ විහාරය ඇතුළු තවත් සිද්ධස්ථාන රාශියක් ජලාශය ඉදි කරන විට ජලය යට සැඟවී ගොස් ඇති බව සඳහන් වේ.

2009 වර්ෂයේ දී පැවති දරුණු නියං කාලය කොත්මලේ ජලාශයේ ජලය සිඳී යාමත් සමඟ නටඹුන්ව ගිය ප්‍රදේශ නැවත  මිනිසුන් හට දැක ගැනීමට අවස්ථාව උදා විය.

ඉන් පසු වරින් වර වියළි කාල සීමාවන් තුල කිහිප වරක්ම නටඹුන් වී ගිය මේ පුරාණ කඩදොර විහාරය දැක ගැනීමට ජනයාට හැකියාව ලැබිණි.

කොත්මලේ ජලාශය ජලයට යට වීම නිසා මෙම විහාරය නටඹුන් ටිකින් ටික ඛාදනයට ලක් වී තිබුණද වියළි කාලයේ දී අපට මෙම මනස්කාන්ත දර්ශනයක් සහිත විහාරය දැක ගැනීමට හැකියාව නිසැකවම ලැබේ. වියළි කාලයේදී කොත්මලේ ප්‍රදේශය සංචාරයට ගියොත් මෙම කඩදොර විහාරය නරඹන්න ඔබත් අමතක කරන්න එපා.

ශ්‍රී ලංකාව මේ වගේ සුන්දර සංචාරක ස්ථාන රාශියකින් පිරුණු රටක්.මෙරට විවිධ සංචාරක ස්ථාන නරඹන්න කැමැත්තෙන් ඉන්න ඔයාලට මගේ මේ සටහන වැදගත් වෙයි කියලා හිතනවා. මේ වගේ තවත් සුන්දර සංචාරක ස්ථානයක් ගැන ඔබ නොදන්න තොරතුරු එක්ක නැවතත් හමුවෙමු......

✍️Sandali Amasha

Comments

Popular posts from this blog

හුලංගල